May 22, 2024

පොතට කලින් හැමදාමත්  පිට කවරයම කියවූ රටක්

ආගමික පසුබිමක් සහිත සිදුවීම් හෝ පුද්ගලයන් හෝ පාදක කරගෙන බිහිවන නිර්මාණයන්ට එරෙහිව ක්‍රියාත්මක වන, බියකරු ආගමික බලවේගයක් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් තිබේ . වර්ෂ 1967 දී මුද්‍රිත කෘතියකට එරෙහිව පැන නැගි මෙම ‘ආගමික නොඉවසීමේ රැල්ල’, වසර පනස්හයක් ගෙවෙන මේ මොහොත වන විට සමාජය වසාගත් මහා පිළිලයක්ව තිබේ. මුද්‍රිත කෘතියකට එරෙහි එරෙහිව ඇරැඹුණු මෙම රැල්ල, මේ වන විට සිනමාව, ගුවන්විදුලිය, රූපවාහිනිය, සමාජ මාධ්‍ය ආදී සියලුම විද්‍යුත්, මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයන්හි පළවන නිර්මාණයන්ට එරෙහි සුනාමියක් වෙමින් තිබේ. කෘති වාරණයෙන් ඇරඹි මෙම ප්‍රවණතාවය, මේ වනවිට නිර්මාණකරුවන් අපරාධකරුවන් සේ සලකා සිරගත කිරීම දක්වා ද අපරාධ නීතිය භාවිතයෙන් පැවරූ නඩු, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ  සම්මුති පණත (ICCPR) සහ ත්‍රස්ත පනත යටතේ නඩු පැවරීම දක්වාද ඉදිරියට ගොස් තිබේ.”සමාජය සත්‍යයෙන් දුරස් වන තරමටම, සත්‍ය කතා කරන්නන් වෛරයට ලක්වනු ඇතැයි” ප්‍රකට ලේඛක ජෝර්ජ්  ඕවල් කලකට පෙර කිවූ දේ අද ශ්‍රී ලංකාව තුල සත්‍යයක්වී තිබේ.

මෙලෙස නිර්මාණකරුවන්ට එරෙහිව බොහෝවිට චෝදනා නැගී තිබෙන්නේ, ආගම්වලට, සංස්කෘතීන්ට, අධිකරණයට සහ රණවිරුවන්ට කලාකෘති වලින් අපහාස සිදුවන බව කියමිනි. ඒ අතරින්ද වැඩිපුරම චෝදනා නැගී තිබෙන්නේ ආගම් වලට අපහාස කළ බැව් කියමිනි. බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආදී වශයෙන් වෙනසක් නොමැතිව සියළුම ආගම්වලින් විවිධ අවස්ථාවලදී නිර්මාණකරුවන් චූදිතයන් කර තිබෙනු පෙනේ.

ශ්‍රී ලංකාවේ මෙවන් සිදුවීමක් මුල්වරට වාර්තා වන්නේ වර්ෂ 1967 දී ටෙනිසන් පෙරේරා ලියූ “දැතිරෝදෙන් උපන් බුදුන්” කෙටිකතා සංග්‍රහයට එරෙහිව, බෞද්ධයන් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක්  මගීනි. ඒ අනුව බුද්ධාගම ද්වේශ සහගතව විවේචනය කළ බව කියමින්, රහස් පොලිසිය පරීක්‍ෂණ මෙහෙයවන ලද අතර ලේඛකයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.රට පුරා බෙදා හැර තිබූ එම කෘතියේ පිටපත් ද රහස් පොලිසිය විසින් ආපසු එකතු කළ අතර අවසානයේ එම කෘතිය වාරණයට ලක් කරන ලදී. මෙරට එවන් සිදුවීමක් වූ පළමු අවස්ථාවේ එයයි.

අනතුරුව හෙළයේ මහ ගත්කරු ලෙස හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “බව තරණය” නවකතාවට එරෙහිව ද වර්ෂ 1975 දී විශාල විරෝධයක් ගොඩනැඟුනි, එමගින් බුදුදහමටත්, බුදුන් වහන්සේටත් අපහාස කරන ලද බවට යක්කඩුවේ ප්‍රඥාරාම සහ පල්ලේවෙල සද්ධාතිස්ස යන නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් ගිහි බෞද්ධ නායකයෝ ද, පරම විඤ්ඤාණාර්ථ බෞද්ධ සමාගම සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය ද චෝදනා නැගූහ.  උද්ඝෝෂණ සහ රැස්වීම් පැවැත්වූහ.රටපුරා පැවැති විරෝධතා ප්‍රබල වූ හෙයින් “බව තරණය” කෘතිය තහනම් කරන ලෙස, රජයේ මැති ඇමැතිවරුන්ද එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියෝය.  රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ බැවින් හදිසි නීති රෙගුලාසි යටතේ මාර්ටින් වික්‍රමසිංහ සිරගත කරන ලෙසද බලපෑම් එල්ල විය.

මෙහිදී කතුවරයා තම කෘතිය හා එයින් ප්‍රකාශිත මතවාද වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේය. ඔහු  බව තරණ විරෝධීන්, දේශපාලන බෞද්ධයන් ලෙස හැඳින්වූයේය මෙහිදී අකුරැටියේ අමරවංශ සහ මොරටුවේ ශාසනරතන හිමි වැනි පැවිදි උගතුන් ද,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ප්‍රමුඛ ලේඛකයන්ද බව තරණය විශිෂ්ට කෘතියක් බැවින් තහනම් නොකළ යුතුය යන මතවාදය වෙනුවෙන් පෙනී සිටියෝය. කෙසේ වුව ද ‘බව තරණය’ වාරණය නොකිරීමට එවක අගමැතිනිය පියවර ගත් අතර, ඒ වන විටද එහි පිටපත් හත්දාහකට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණි. යථාර්ථවාදී රීතිය ගුරුකොට ගනිමින් රචිත බව තරණය තුළ සමාජ විමුක්තිවාදියෙකු ලෙසින් සිදුහත් චරිතය ගොඩනැංවීමේ අරමුණක් මිස, බුද්ධාගමට හෝ බුදුන් වහන්සේට අපහාස කිරීමේ අරමුණක් නොවූ බව කෘතිය පරිශීලනය කරන විට පැහැදිලිව පෙනේ.

පළ කිරීමට නියමිතව තිබූ කෘතියකට එරෙහිව මුද්‍රණයෙන් එළි දකින්නටත් පෙරම උද්ඝෝෂණයක් ඇතිවීම තරමක  අරුමයකි. නමුත් වර්ෂ 2000 දී එවන් අරුම පුදුම සිදුවීමකට මුහුණ දෙන්නට මංජුල වෙඩිවර්ධන නම් ලේඛකයාට සිදු විය. ඔහු විසින් රචිත “මේරි නම් වූ මරියා” කෘතිය  මගින් කිතුණු ප්‍රජාවගේ සිත් රිදවිය හැකි යැයි අනුමාන කළ කිතුනු රදගුරු සමුළුව, එවක රාජ්‍ය නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ එය මුද්‍රණයට අවසර නොදෙන ලෙසයි. කෘතිය නොකියවා මුද්‍රණාලයේදී පිටකවරය සහ පසු කවරයේ උපුටනය දැක, එය පදනම් කරගනිමින් චෝදනා ගොනුකර තිබුණි. මිනිස් සංහතිය තුළට දේවත්වය මාංශගතවීම හා කුරුසිය නියෝජනය කරන ශුද්ධ වූ ත්‍රීත්වය යන ක්‍රිස්තියානි මූලික පදනම් දෙකකට කතුවරයා අභියෝග කර ඇති බව පැමිණිල්ලෙන් කියැවුණි. කතුවරයා අත්අඩංගුවට ගත් අතර ශරීර ඇපයක් මත රිමාන්ඩ් නොවී නිදහස් වීමේ වාසනාව උදා වූයේ එකල ICCPR පනත ක්‍රියාත්මකව නොපැවති හෙයිනි.

එනමුදු, මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැනි විද්වතුන් මෙම තහනමට එරෙහිව උසාවි යන්නට සූදානම්ව සිටියදී නඩුව වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න ජීවිතයෙන් සමුගත් බැවින්, අධිකරණ විවාදයකට පෙරම ‘මේරි නම් වූ මරියා’ කෘතිය  ස්ථිර තහනමකට ලක්වුණි. ඒ අනුව මෙම කෘතිය මගින් ක්‍රිස්තියානි ආගමික සංකේතයන්ට හා විශ්වාසයන්ට පරිභව කර තිබේද නොතිබේද යන්න තවමත් නොවිසඳුණු ගැටලුවකි

එතෙක් කල් මුද්‍රිත කෘතීන් අරභයා වූ නිර්මාණ විරෝධී ආගමික රැල්ල වර්ෂ 2005 දී එල්ල වන්නේ “ගල් පිළිමය සහ බොල් පිළිමය” නම් ටෙලිනාට්‍යයට එරෙහිවය.  ප්‍රවීණ ලේඛක ගුණදාස අමරසේකරයන්ගේ එනමින්වූ වූ කෙටිකතාව පාදක කරගත්  ටෙලි නාට්‍යයක් වෙනුවෙන්, බුදු පිළිමයක් පුපුරවා බුද්ධාගමට අපහාස  කළේ යැයි චෝදනා නගමින් අධ්‍යක්ෂ සහ නිෂ්පාදකට විරුද්ධව  නඩුවක් පවරන ලදී. එලෙස නඩු පවරන ලද්දේ නිකවැරටිය  ත්‍රෛනිකායික භික්‍ෂු බලමන්ඩලය නම් භික්‍ෂු සංවිධානයක් විසිනි. විචාරාක්ශියෙන් තොරව ප්‍රවෘත්තියක් පළ කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදියකු විසින් ඇවිලෙන ආගමික ගින්නට පිදුරු දැමීමක් සිදුකිරීම නිසා පුවත ආගමික නොඉවසීමේ රැල්ලක ආරම්භයක් විය.

ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා අබෞද්ධයකු බැවින් මෙය බුද්ධාගම විනාශ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් බවත්, මීට එරෙහිව නීතිමය වශයෙන් දැඩි පියවර ගතයුතු බවත් පවසමින් එවක අගමැති රත්නසිරි වික්‍රමනායක, දියවඩන නිලමේ නිරංජන් විජයරත්න ඇතුළු පිරිසක් විවිධ රැස්වීම්වලදී මෙන්ම පුවත්පත් සාකච්ඡාවලදී ද වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම  සුලබ දසුනක් විය. දිවයිනේ ප්‍රධාන පුවත්පත් කිහිපයක මේ පිළිබඳ සංවාදයක් ඇති වුව ද, රාවය සහ Sunday Observer පුවත්පත් පමණක් සමබර පුවත් සහ සංවාද පළ කළ බවද  සත්‍යයකි. සෙසු  පුවත්පත් ආගමික ගැටුමකට මග පාදන  පුවත් පළකිරීමෙන් බෞද්ධයන් උසිගැන්වීමේ උත්සාහයක යෙදුණි.

මෙම කරුණ අරභයා අපරාධ නීතිය යටතේ නිකවැරැටිය ත්‍රෛනිකායික භික්ෂු සංවිධානය ගොනු කළ නඩුව, වසර තුනක් පමණ කල් ඇදී ගියේය. එහිදී හෙළි වූයේ කොටස් දෙකකට නිර්මාණය කළ පිළිමය රූගත කිරීමේ දී එක් පිළිමයක් ලෙස එකතු කළ බවයි. එසේම අවසානයේ යළිදු වෙන්කර පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග මගින් පුපුරවා ගොස් ඇති බව පෙනෙනසේ නිර්මාණය කර ඇති බවයි. මුලින් චෝදනා කළ පරිදි කිසිදු ආකාරයක පිපිරවීමක් සිදුකර නැති බවද හෙළිදරව් විය. මෙමගින් බෞද්ධාගමට හෝ බෞද්ධයන්ට අපහාසයක් කිරීමේ චේතනාවක් නොතිබූ බව අධිකරණය පිළිගත් අතර, අධ්‍යක්ෂ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු සහ නිෂ්පාදක රංජිත් පෙරේරා චෝදනාවලින් නිදහස් විය. මේ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යවේදී විකුම් ජිතේන්ද්‍ර පවසා තිබුණේ “අපරීක්ෂාකාරී ලියන්නෙකුගේ වාර්තාවකින් සිදුවන වැරදි සන්නිවේදනය නිසා හටගත හැකි ප්‍රතිඵල කිසිසේත් යහපත් නොවන බවයි.”

ආගමේ නාමයෙන් නිර්මාණකරුවකු පීඩාවට පත්කිරීමේ උච්චතම අවස්ථාව උදාවූයේ වර්ෂ 2019 දීය. ඒ සම්මානනීය ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ශක්තික සත් කුමාර ලියූ “අර්ධ” නම් කෙටිකතාව මුහුණු පොතේ පළ වීමත් සමගය. කෙටිකතාව මගින් සිංහල බෞද්ධ භික්ෂුවට සහ බුද්ධාගමට අපහාසයක් වන බවට චෝදනා කරමින් පොල්ගහවෙල සහ පොතුහැර ශාසනාරක්ෂක බල මණ්ඩල භික්‍ෂූන් විසින් ශක්තිකට එරෙහිව නඩු පවරනු ලැබීය. අනතුරුව 2019 අප්‍රේල් පළමුවැනිදා කට උත්තරයක් ගැනීමට පොලිසියට කැඳවන ඔහුව,  එදිනම බන්ධනාගාරගත කරනු ලබයි. බන්ධනාගාර ගත කරන ඔහුට ඇප ලබා ගැන්මට නොහැකි වනුයේ නඩුව  ICCPR පණත යටතේ පවරා තිබූ හෙයිනි.

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරමින් හුන් ඔහුගේ රැකියාවද අහිමිවන අතර, ඇප ලබාගත හැකිවන්නේද මාස හතරක කාලයකට පසුවය. වසර දෙකක පමණ  දීර්ඝ නඩු විභාගයකින් පසුව නිදොස් කොට නිදහස්වන ශක්තික, තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැන් පවරා තිබේ.

ශක්තිකගේ සිදුවීම මෙරට චින්තනයේ හා භාෂණයේ නිදහස පිළිබඳව සමාජය අවදි කරවන්නට සමත් වූ  අතර, ඒ පිළිබඳව සංවාදයක් ද රට තුළ ගොඩනැගුණි. එසේම AMNESTY INTERNATIONAL, PEOPLE RIGHTS GROUP, PEN INTERNATIONAL  වැනි ජාත්‍යන්තර  සංවිධාන කීපයක්ම මෙම සිදුවීම පිළිබඳව නිරන්තරව අවදියෙන් සිට ජාත්‍යන්තර අවධානය ඒ කෙරෙහි යොමු කරවන්නට කටයුතු කළ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

එම වසරේම “තරුවන් සරණයි” නම් ගුවන් විදුලි නාට්‍යයක් ලියූ මාලක දේවප්‍රිය නම් නාට්‍යකරුවාට එරෙහිව ද බෞද්ධ භික්ෂුවක් විසින් නඩු පවරනු ලැබුවේ එමගින් බෞද්ධාගමට අපහාසයක් කළ බව කියමිනි. පසුගිය වසර කීපය තුළ  කේ.කේ ශ්‍රීනාත්ගේ “බුදුන්ගේ රස්තියාදුව” නවකතාවට සහ ඩිල්ෂාන් පතිරත්නගේ “දඩබ්බරයා” නවකතාවට එරෙහිවද කොළඹ අපරාධ විමර්ශන අංශයට සහ පොලිසියට පැමිණිලි කර තිබුණේ එකී නිර්මාණ වලින් බුදුදහමට අපහාස වන බව කියමිණි. නමුත් එම නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ බන්ධනාගාරගත කිරීමක් සිදුනොවුනි.

2023 වසර ඇරඹෙන්නේද තවත් කලා ශිල්පිනියක් ආගමික උන්මාදයේ ගොදුරක් බවට පත් කිරීමත් සමගිනි. ඒ ප්‍රහසන වේදිකා නාට්‍යයකදී සිද්ධාර්ථ චරිතයට අපහාස කළ බවට චෝදනා කරමින්, නාට්‍ය ශිල්පිනි නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාරගත කරමිනි. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ද ICCPR පනත යටතේය. ඇයටද මාසයක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටින්නට සිදුවිය.

සමාජ මාධ්‍ය ක්‍රියාධදරයකුවූ සේපාල් අමරසිංහද YouTube වැඩසටහනකදි දළදාවට අපහාස කළේ යැයි බෞද්ධයන්ගේ උදහසට ලක්වූවෙකි. ICCPR පනත යටතේ ඔහුට එරෙහිව ද  නඩුවක් පැවරුණු අතර ඒ හේතුවෙන්ම රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරුණි. නමුත් අධිකරණයේදී තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීම හේතුවෙන්, සේපාල්ට ඇප ලබා ගැන්මට හැකි විය.

ආගමික නොඉවසීමේ රැල්ල මතුවන වේගයට අනුව ඉහත කී ලැයිස්තුව  ඉදිරියට තවත් දීර්ඝ වනු ඇත. ආගමික සංකල්ප හෝ ආගමික පූජකයන් හෝ තම කෘති සඳහා විෂය කර ගැනීම වරදක්ද? එය ආගම්වලට තර්ජනයක්ද? ආගමික සහජීවනයට බාධාවක් ද? මේ පිළිබඳව අදහස් දක්වමින් ලේඛක මංජුල වෙඩිවර්ධන පවසන්නේ මෙවන් අදහසකි.

“ආගම් බවට ඌනනය කරන ලද දාර්ශනික හා දේශපාලන අදහස් පද්ධති, යළි සහජ ස්වරූපයෙන් දැකගන්නට අවශ්‍ය සමාජ කතිකාව ගොඩනැංවීම වෙනුවෙන් මැදිහත්වීම, අත්හළ නොහෙන සමාජ වගකීමකි. කිතුනු සන්දර්භය තුළ පවා මා අඛණ්ඩව කරමින් සිටින්නේ එයයි. භාෂාව විසින් අහිමි කර ගැනුණු ජීවය යළි භාෂාව වෙත කැඳවනු ලැබිය හැක්කේ, අධිනිශ්චය වීම්වලට එරෙහිව ගොඩ නඟන සවිඥානික මැදිහත්වීම් විසිනි. අර්බුද පැන නැගෙන්නේ වුව, අවමන් – ගැහැට විඳින්නට සිදුවන්නේ වුව, එය අඛණ්ඩව සිද්ධ විය යුතු ක්‍රියාවලියකි”. (අනිද්දා පුවත්පත-2023.01.15)

ආගම් පිළිබඳව හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසියම් පුද්ගලයෙකුට සිය අදහස් දැක්වීමට අයිතියක් තිබේද යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සඳුන් තුඩුගල බීබීසී සිංහල සේවයට මෙවන් ප්‍රකාශයක් කර ඇත.

“ලංකාව වගේ රටක විවිධ ආගම්, ඇදහිලි සහ විවිධ ජාතීන් ඉන්නවා.  ඒ නිසා මොකක් හරි අදහසක් ප්‍රකාශ කරනකොට, ඒක අනෙකාට කෙතරම් සංවේදීද කියන එක සම්බන්ධයෙන් සහ අනෙකාගේ විශ්වාසයන්ට කෙතරම් බලපානවාද කියන එක සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේ වගකීමක් තිබෙනවා. අපේ අයිතිය සහ ඒකෙන් යමෙකුට බලපෑමක් වෙනවද කියන එක සම්බන්ධයෙන් මනුෂ්‍ය සමාජය ඇතුලේ අපි සැලකිලිමත් වෙන්න ඕනෑ.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් මිනිහෙකුට අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා. ඒක හරි හෝ වැරදි වෙන්ඩ පුළුවන්. එතකොට ඉඩකඩ තියෙන්න ඕනෑ අනික් ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් තමන්ගේ විවේචන ඉදිරිපත් කරමින් සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ඒක සංවාදයක් තුළින් සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇතුළෙන් වෙන්ඩ ඕන එකක්.නමුත් ඒකෙදි රාජ්‍යය මැදිහත් වෙලා ඔහුව සිරකිරීම වැරදි පූර්වාදර්ශයක්  කියන එකයි මගේ අදහස. එතනදි රාජ්‍යය තමයි තීරණය කරන්නේ මොකද්ද අපහාසය  කියලා. මේකට මම  සියයට සීයක් විරුද්ධයි.”

හිටපු මහාධිකරණ විනිසුරු, සම්මානනීය ලේඛක හ ප්‍රවීණ විචාරකයකු වන සමන් වික්‍රමාරච්චි ආගමික අපහාසය පිළිබඳව දරන්නේ මෙවන් මතයකි.” සාමාන්‍යයෙන් ඇදහිලි විශ්වාස  සහ ආගම් කියන්නේ සංවේදී කාරණා. ඒවා පිළිබඳව නිර්මාණයන් කිරීමේදී අතිශය ප්‍රවේශම් විය යුතුයි. මොකද  මිනිසුන් ආගම් සමඟ දැඩි බැඳීමක් තිබෙනවා. නීතියෙන් පවා එවැනි සිදුවීම් ගැන කතා කිරීමට සීමාවන් පනවා තිබෙනවා. ආගමික පූජකයන්ගේ පැවැත්ම තියෙන්නේ ආගමික ඇදහිලි මත.ඒවා විශ්වාස කරන තරමට තමයි ඔවුන්ගේ ජීවන  මාර්ගය ආරක්‍ෂාවන්නේ.ආගම් විවේචනය කළ විට ජනතාව ඒවා දෙස විචාරාක්ෂියෙන් බලනවා. එවිට පූජකයන්ගේ ජීවන මාර්ගවලට තර්ජනයක් එල්ල වෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් පරල වෙනවා. බොහෝ විට ආගම්වලට අපහාස කළේ යැයි චෝදනා එල්ල වන්නේ එවැනි අවස්ථාවල. නමුත් බුදුන් වහන්සේ තමන්ට අපහාස කළ අයගෙන් පළිගත්තේ නෑ. චිංචිමානවිකාව සම්බන්ධ සිදුවීම හොඳ උදාහරණයක්.

බව තරණය කෘතියට එරෙහිව විරෝධතා පැන නැගුණාට,ඒකෙන් බුදුන් වහන්සේ විවේචනය කළේ නෑ. සිදුහත් කුමාරයාගේ ජීවිතයයි එයට විෂය වන්නේ.එයට තහනම් පනවන්න කිසිම හේතුවක් නෑ. කතෝලික, ක්‍රිස්තියානි ආගම් පවතින යුරෝපයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව ලිංගික කරුණු පවා ඉස්මතු කරමින්, හාස්‍යමය කතා ලියවෙනවා. නමුත් කතෝලික ක්‍රිස්තියානි පූජකවරු හෝ ප්‍රජාව හෝ ඉන් කිපෙන්නේ නෑ. ඔවුන් එය කියවා හිනා වෙනවා පමණයි. අපහාස කළා කියා නඩු දමන්නේ නෑ.නමුත් ඉරානය ප්‍රමුඛ ඉස්ලාමීය රටවල පවතින්නේ ආගමික රාජ්‍යයන්.ඒ රටවල ආගමට අපහාස කළොත් මරණීය දණ්ඩනය නියම කරනවා. පිටස්තර අයට ඒකට විරුද්ධ වෙන්න බෑ. මොකද ඒක ඒ රටේ නීතිය..

ලංකාවේ ICCPR පනත  බොහෝ විට භාවිතා වන්නේ නිර්මාණකරුවන් දඬු කඳේ ගැසීමට.තමන්ට දඩයම් කළ යුතු  කිසියම් පුද්ගලයෙකු වේ නම් ඔහුව දඩයම් කිරීමට තමයි මේ පනත බොහෝ විට භාවිතා කරන්නේ. ක්‍රිස්තුස්වහන්සේ ගැන කියැවෙන ‘ඩාවින්සි කෝඩ්’ කෘතිය යුරෝපයේ තහනම් කළේ නෑ. ඒකෙන් චිත්‍රපට පවා හැදුනා නමුත් ලංකාවේ එම කෘතිය  වාරණය කළා.බොහෝ විට මේවා කරන්නේ විවිධ රාජ්‍යයන් සමඟ හොඳ හිත පවත්වා ගැනීමට මිසක් වෙනත් අරුතකින් නෙවෙයි. කොහොම වුණත් මම වාරණයට මුළුමනින් විරුද්ධයි.”

බුදු දහම විවේචනය ඉවසන, විචාරය අනුමත කරන ධර්මයකි. එවන් දහමක් තුළ ආගමික අපහාසය යන සංකල්පයට ඉඩකඩක් නැත. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් තුළ  ආගමික අපහාසයට ඉඩකඩක් තිබුනද, එය වත්මන් ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ මානව හිමිකම් වලට නොගැලපේ. එබැවින් බටහිර රටවල් ඇතුළු ලෝකයේ දියුණු රටවල් ආගමික අපහාස නීතිය නීති පද්ධතියෙන් ඉවත් කර හෝ ඉවත් කරමින් සිටී. දැන් ලෝකයේ බොහෝ රටවල නිර්මාණ කෘති සම්බන්ධයෙන් ICCPR පනත හෝ ත්‍රස්ත පනත වැනි නීති රීති භාවිතා නොකරයි.

දීර්ඝ ඉතිහාසයක් ඇති ලංකාවේ ද ‘ආගමික අපහාසය’ යන සංකල්පය අතීතයේ තිබුණේ නැත. අපට උරුමව ඇති ආගමික අපහාස නීතිය අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ දී අපට උරුම වූවකි. වර්තමානයේ අප එය ඉවත් කරනවා වෙනුවට,  වඩාත් දරුණු තත්ත්වයට පත් කරමින් සිටින්නෙමු. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී 14(1)(අ) වගන්තිය මගින් වාර්ගික හා ආගමික සහජීවනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ වරදකට උසිගැන්වීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කල හැකි සීමාවන්ට යටත්ව, ඕනෑම මාධ්‍යයක ප්‍රකාශනය ද ඇතුළුව, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහතික කර ඇත.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමිව යන රටක් ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කඩා වැටීම අනිවාර්යෙන් සිදුවන්නකි. පරිකල්පනයට සීමා මායිම් පැනවීම තුළින් සංස්කෘතික මිනිසෙක් බිහිනොවේ. සමාජයක අලුත් විදිහට සිතන පතන, කතා කරන මිනිසෙකු බිහිනොවේ.මානව ශිෂ්ටාචාරය ඉදිරියට වර්ධනය වීමේදී සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසට බාධා කළ හැම අවස්ථාවක්ම, ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ කළු පැල්ලම් ලෙසිනි. ජේසුස් කුරුසයේ තබා ඇණ ගැසීම, සොක්‍රටීස්ට වස බොන්නට සැලැස්වීම, ගැලීලියෝ සිරගත කිරීම, බෲණෝ පුළුස්සා මැරීම, සල්මාන් රශ්ඩි  සහ තස්ලිමා නස්රීන්ට මරණ දඬුවම නියම කිරීම ආදිය ඊට උදාහරණ කීපයකි. ශිෂ්ඨ ලෝකය මේ කිසිවක් අනුමත නොකරති. අභිමානයෙන් කතා නොකරති. “අලුත් අලුත් දෑ නොතනන  ජාතිය  ලොව නොනගී” යනුවෙන් ප්‍රකට ලාංකීය පඬිවරයකු වූ කුමාරතුංග මුනිදාසයන් ප්‍රකාශ කළේ මීට දශක අටකට පමණ පෙරය. අලුත් විදිහට නොසිතන, අලුත් විදිහට කතා නොකරන, මිනිසුන් ගැලපෙන්නේ ජරාජීර්ණ දේශපාලනඥයන්ටය. පසුගාමී ආගමික සංස්ථාපිතයන්ටය.

2023 වසරේ නොවැම්බරයේ  පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී වත්මන් ජනාධිපතිවරයා කළ කතාව මේ මොහොතේ අවධාරණය කිරීම සුදුසු යයි සිතමි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ, නිර්මාණ කෘති අරබයා කිසිදු විටෙක අපරාධ නීතිය යටතේ කටයුතු නොකිරීමට අවශ්‍ය කරන අණ පනත් ඉදිරියේදී ගෙන එන බවයි. එසේම කලා කෘති සම්බන්ධයෙන් පවතින වාරණය යන සංකල්පය, මුළුමනින්ම අහෝසි කිරීමට කටයුතු කරන බවයි. එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත්, ඉදිරි කාලයේදී කලා නිර්මාණයකින් අපහාසයක් සිදුවූ බව කියමින් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම හෝ සිරභාරයේ රඳවා තබා ගැනීම හෝ නිර්මාණ වාරණය හෝ නොකෙරෙනු ඇත. එසේම  ආගමික නොඉවසීමෙන් මිදුනු සමාජයක් බිහි කර ගැනීමේ බුද්ධිමය සමාජ සංවාදයක්ද අත්‍යවශ්‍යය.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු